පාසලේ ඉතිහාසය

මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ හක්මණ නගරයට කිලෝමීටර් තුනහමාරක් පමණ ඈතින් පිහිටි නරවැල්පිට දකුණ ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම විද්‍යාලය පිහිටි ප්‍රදේශය ගොඩමඩ දෙකින්ම සරුසාර අඹ දඹ පේර කජු වැල වරකා අන්නාසි දෙල් පොල් පුවක් කුරුදු රඹුටන් සුවද දුන් රඹකැන් වලින් අනූන ප්‍රදේශයකි.

ලගන්නා සුලු ඇලදොල දිය බුබුළු හා වැව්වල පහස ලත් දැකුම්කළු රම්‍යතර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තුළ පිහිටි මනරම් කදු ගැටයක් මත පිහිටා ඇති මෙම පාසල මෙම ප්‍රදේශයට පායා ඇති තරුවක් වැන්නකි.

මෙම විද්‍යාලය මුලින්ම පිහිටවන ලද්දේ මෙතෝදිස්ත සභාව මගිනි. ඒ 1896 දී බව දල කියමනකි. මෙම කාලවකවානුව ද ගමේ සිටින වැඩිහිටියකුගෙන් ලත් තොරතුරුය. මොහු නම්න් හේවා අලංකාරගේ අදිරියන්ය. අදිරියන් අවුරුදු 06 දී මෙම පාසලට ඇතුළත්ව ඇත.

මෙම විද්‍යාලයේ මුලින් ම අධ්‍යාපනය දෙනු ලැබු ගුරුභවතා වී ඇත්තේ වැලිගම ප්‍රදේශයේ උපන් ආරුකට්ටි පටබැදිගේ අරනෝරිස් සිල්වා මහතාය. මොහුත් මොහුගේ නැගනියත් ගුරුවරුන් ලෙස උගන්වා ඇත.මෙම කාලයේ ළමුන් 40 ක් පමණ ඉගෙන ගෙන ඇති අතර ශාලාවක් ලෙස ති‍බුණේ කුඩා පොල්අතු ගොඩනැගිල්ලකි.

1909 වර්ෂයේදී පමණ මෙම විද්‍යාලය බොදු විදුහලක් බවට පත් කොට ඇති අතර එවිට ළමුන් 150 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබා ඇත. මෙම කාලවකවානුවේදී කෝංගල ද මෙතෝදිස්ත විද්‍යාලයක් තිබී ඇති අතර එය නරවැල්පිට විද්‍යාලයට පසුව පිහිටවන ලද්දක් බව කියැවේ.

මෙම විද්‍යාලය බොදු පාසලක් කිරීමට බොහෝ උත්සාහ ගෙන ඇත්තේ කෝංගල දොන් අදිරියන් වික්‍රමසිංහ රාළහාමිය.එහි ප්‍රතිඵලයක් ලෙස නරවැල්පිට හා කෝංගල පාසල් දෙකම බොදු විදුහල් බවට පත් කර ඇත.

නරවැල්පිට විද්‍යාලය බොදු විදුහලක් වූ පසුව පාසලේ උගන්වනු ලැබූයේ අතුරලියේ ගුරු මහත්මයෙකි. මෙතුමා අනගාරික තත්වයේ සිටියෙක් බව සැලය. අතුරලියේ ගුරුතුමා ආණ්ඩුවෙන් පත් කළ පසු වැලිගම ගුරුතුමා මාරුවක් ලැබ ගොස් ඇත.

මෙම විද්‍යාලය බොදු පාසලක් බවට පත් කරන විට මේ සදහා අත්සන් කර ඇත්තේ බෙරුවල තත්තේ හින්නිමුත්තා ( මහගලවත්තේ ගමගේ ජේමිස් මහතාගේ පියා ) හා කෝන්කැටියේ උයන්ගොඩගේ මෙන්දිරිස් යන මහත්වරුය.

මෙම පාඨශාලාව පිහිටි භූමිය මුලින්ම අයිතිව තිබුණේ හක්මණ බටුපැළ කන්දේ රණසිංහගෙදර ඉස්කෝලෙ හාමිනේට හා තංගල්ලේ මාරතොල්ලියේ කුක් මහත්මාට බවත් මොහු ලංසි මහත්මයෙක් බවත්මෙම දක්වා ඇත. මෙම පාසල බොදු විදුහලක් බවට පත් වූවාට පසුවත් ඉඩමේ අයිතිය පැවරී තිබුණේ ඉහත නම් සදහන් අයටමයි.එවිට අක්කරයක් පමණ ඉඩම තිබූ අතර පසුව අක්කර 07 ක් දක්වා වැඩිකර ගෙන ‍ඇත.පවුව එය රජයට පවරා ගන්නා ලදි.පාසලට ඇතුළත් කිරීමට පෙර ගමේ ළමයි ඉගෙන ගෙන ඇත්තේ පන්සලෙනි.කට ඉඹුලේ ආවාසය හා ගාල්ලේ පොල්දූවේ පන්සලේද ළමයි ඉගෙන ගෙන ඇත. පන්සලේ ඉගෙනුම ලැබූ ළමයි පාසලට ගෙන ඇත්තේ ඉතා අමාරුවෙනි.එනම් ඒ ළමයින්ගේ දෙමාපියනට නඩු දමා නීති මාර්ගයෙනි. මේ ආකාරයට පාසලට නොඑන ළමයින්ට රුපියල් 2.50 ක දඩ මුදලක් ගම් සභාව මගින් අය කර ගෙන ඇත. එච්.ඒ.අදිරියන් ද එසේ දඩ මුදල් ගෙවු අයෙකි. ගල්කැටදෙනියේ වෙද මුත්තා වත්තෙකන්දේ විදානෙ මහත්තයා ගල්ඇන්ද ලග නිකුලස් මුත්තා එසේ සේ එකළ ඉගෙන ගත් අයයි.

දැනට විදුහලේ තිබෙන බෝගස ද අතුරලියේ මහත්මයා දඹදිවින් ගෙනවුත් රෝපණය කොට ඇති එකක් බව ප්‍රකාශ වේ. එබැවින් මෙම භූමිය ශුද්ධ භූමියක් ලෙස සැලකිය හැකිය. අතුරලියේ මහත්මාගේ පුතකුද මෙම යුගයේ උගන්වා ඇති බවට සාධක තිබේ. මොහු මොනිටර් කෙනෙකි. පාඩම් පොත ලෝවැඩ සගරාව ගැටපද චක්‍රය නම් පොත ආදිය උගන්වා ඇත.

සත පහේ පිහාටුවලින් පොත්වල ලියනු ලැබු මෙම යුගයේ උකුසු පිහාටු බකුසු පිහාටු ලිවීම සදහා යොදා ගත් අතර ඒවා පාසලේම තබා තිබිණි. පන්සල්වලදී ලිවුයේ වැලි පීල්ලේය. මෙකල 08 වන ශ්‍රේණිය දක්වා පන්ති තිබු අතර පාසලින් දුන් ඉහළ සමත් සහතිකය 8 ශ්‍රේණිය සමත් සහතිකය විය. එකල ළමුන්ට මෙන්ම සුනඛයින්ටද බෙහෙත් දුන්නේ පාසලෙනි.

මෙම විදුහලේ මොනිටර්වරයෙකු ලෙස බද්දුවෙල වත්තේ මහත්මයා ද උගන්වා ඇත.වනුමැලේ ‍වත්තේ රාළහාමි මුත්තා විසින් අවුරුද්දකට වරක් ළමයින් සදහා බත් සපයා ඇත.

1938 දී මෙම විද්‍යාලය ගැහැණු විද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අතර මෙම විදුහලේ පිරිමි ළමයින් නරවැල්පිට උතුර විද්‍යාලයට ඇතුළත් වනු ලැබීය.නැවත අවුරුදු 03 කට පසුව මිශ්‍ර පාඨශාලාවක් බවට පත් කරන ලදි. එවිට විවිද පළාත්වලින් පැමිණි ගුරුවරුන් 50 කට අධික සංඛ්‍යාවකට නතුව පැවතුන අතර 1968 දී මහා විද්‍යාලයක තත්වයට උසස් කරනු ලැබීය. මෙකල සීමන් නැමැති ගුරුතුමා ඉතාමත් ‍ඉහළ සේවයක් කළ අයකු බව පැවසේ. ඉන් අනතුරුව දියුණුවේ මං කරා ගමන් ගත් මෙම විද්‍යාල මාතාව ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්ම ගොඩනැගිලි ගණනින්ද වර්ධනය විය.

1968 දී මුල් ගුරුවරයා ලෙස ගුණතිලක මහතා පත් වූ අතර ක්‍රමවත් වූ පාලනයකට පසුබිම වැටුනි. අනතුරුව බී.සේනානායක මහතා විදුහල්පති වශයෙන් සේවය කළ අතර 1974.01.15 දිනෙන් පසුව එ.එම්.ගමගේ මහතා විදුහල්පති වශයෙන් විද්‍යාලයේ අධ්‍යාපනික හා අන් සෑම අංශයකම අභිවෘද්ධිය උදේසා විශාල සේවයක් කරනු ලැබීය.

දස අවුරුදු සේවයකින් පසු ඒ.එම්.ගමගේ විදුහල්පතිතුමා මෙම විද්‍යාලයෙන් 1984.03.05 දින විශ්‍රාම ගිය අතර මෙම ඓතිහාසික පසුබිම උපුටා ගන්නා පොත ලියා ඇති ජිනදාස ගමගේ මහතා විද්‍යාලයේ විදුහල්පති දූරය බාරගන්නා ලදි. ඉන් පසුව ද ක්‍රම ක්‍රමයෙන් පාසල දියුණුවට පත්වු අතර මේ වන විට ඩී.එච්.කේ.සමරසිංහ මහතා විදුහල්පති ධූරය හොබවයි.